News

ලක්ෂ 31කට අධික වටින රත්‍රං සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

මාලදිවයිනේ සිට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ඊයේ (29) රාත්‍රීයේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 46 හැවිරිදි මාලදිවයින ජාතිකයෙක් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

මොවුන් ඊයේ (29) පස්වරු 6.20 ට මාලදිවයිනේ සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල සගවා ගෙන සිටි රත්තරන් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

එහි රුපියල් 31,48,810 ක් වටිනා රත්තරන් බිස්කට් 02 ක් සහ රත්තරන් මාල 02 ක් තිබූ අතර , ඒවායේ මුළු බර ග්රෑම් 233 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.