News

පහත යන මිලට පිළියමක් ලෙස ගම්මිරිස්, තෙල් නිෂ්පාදන ව්‍යාපෘතියක්

ඉන්දියාවට අපනයනය කළ හැකි ගම්මිරිස් මෙට්‍රික් ටොන් දෙදහසක කෝටාව මේ වසර සඳහා අවසන් බවත් මේ නිසා මෙරට ගම්මිරිස් මිල පහත වැටී ඇති බවත් වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණ ‘අරුණ’ට පැවසීය.

මෙරට සමස්ත ගම්මිරිස් අස්වැන්න අපනයනය කිරීමට නොහැකි වන හෙයින් විකල්පයක් වශයෙන් මේ වසර ඇතුළත ගම්මිරිස් තෙල් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගම්මිරිස් සඳහා ඉහළ මිලක් නොලැබීම සම්බන්ධයෙන් ගොවීන් නගන චෝදනා පිළිබඳව අප කළ විමසුමක දී ය.

අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 120 දක්වා ද වියළි ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 550 දක්වා ද මේ වන විට අඩු වී ඇතැයි ගොවීහු පවසති.

“ මෙරට ගම්මිරිස්වලට මිලක් ලබා දීම සඳහා ගම්මිරිස් ආනයනය තහනම් කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. අපේ ගම්මිරිස් අපනයනයෙන් සියයට අසූවක් ඉන්දියාව ගන්නේ. මේ වසරට අදාළ මෙට්‍රික් ටොන් දෙදහසක කෝටාව මේ වන විට අවසන්.

මිල පහළ යාමට එයත් හේතුවක්. විකල්පයක් ලෙස අපි ගම්මිරිස් තෙල් නිෂ්පාදන ව්‍යාපෘතියක් මේ වසරේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ගම්මිරිස් තෙල් සඳහා විශාල ඉල්ලුමක් පවතින හෙයින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කළා” යැයි ද ඇමැතිවරයා පවසා සිටියේය.

 

නිලන්ත මදුරාවල