News

සැරයන්ලා 346ක් එස්.අයි.ලා කරන්න උසාවියට පෙත්සමක්

පොලිස් සැරයන් තනතුර දරන පොලිස් නිලධාරීන් තුන්සිය හතළිස් හයක් හැකි ඉක්මනින් උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන මෙන් වැඩබලන පොලිස්පතිට සහ ජාතික පොලිස් කොමිසමට නියෝග කරන්නැයි ඉල්ලා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කෙරිණි.

මේ කණ්ඩයාමේ සියලුදෙනාම වයස අවුරුදු 50 ඉක්මවූ පොලිස් දෙපාර්තමේන්තුවේ වසර තිහකට වැඩි කාලයක් සේවය කළ අය වෙති. සේවයෙන් විශ්‍රාම යාමට ඉතා ආසන්නව සිටින කීපදෙනෙක්ද මේ අතර වෙති. පෙත්සමේ සඳහන් අන්දමට 2018-12-31 දිනට පොලිස් සැරයන් තනතුරේ වසර දොලහක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන බව 2019-07-25දා නිකුත් කළ චක්‍රලේඛනයක් මගින් දැනුම් දී ඇත. ඒ වනවිට මෙම පෙත්සම ගොනු කළ සැරයන්වරු සියලුදෙනාටම වසර දොළහක සේවා කාලය සම්පූර්ණවීමට තිබුණේ මාස හතරකට අඩු කාලයකි. මේ අතර වසර දහයක් පොලිස් පරීක්ෂකවරුන් ලෙස සේවය කළ නිලධාරීන්ටද ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) තනතුරට උසස් කරන බව පොලිස් කොමිසම චක්‍රලේඛනයක් මගින් දන්වා ඇත. එහෙත් එම චක්‍රලේඛනයට පටහැනිව වසර දහයකට මාස දහතුනක් අඩු පොලිස් පරීක්ෂකවරුන්ද ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇත. පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටින්නේ මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දෙආයාකාරයකට සැලකීමක් බවයි. සේවා කාලය මාස 04ක් අඩු අයට උසස්වීම් ලබානොදී මාස 13ක් අඩු අයට උසස්වීම් ලබාදීම එක් පාර්ශ්වයකට පමණක් විශේෂයක් කිරීමකි. මාස හතරක් සේවා කාලය අඩුවීම ගැන නොසලකා තමන්ට උසස්වීම් ලබාදීමට පියවර ගන්නැයි වැඩ බලන පොලිස්පති ඇතුළු නිලධාරීන්ගෙන් කීපවතාවක්ම ඉල්ලා සිටියත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ නිසා නඩු මගට පිවිසීමට තමන්ට සිදුවූ බව පෙත්සමේ සඳහන් කර ඇත.

සරත් ධර්මසේන