බූස්ස මින්මතු දරුණු අපරාධකාරයන්ට පමණයි
බූස්ස බන්ධනාගාරය දරුණු අපරාධකරුවන් පමණක් රඳවා තබන අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත්කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
බන්ධනාගාරය කේන්ද්‍ර කරගෙන සිදුවන පාතාල අපරාධ සහ මත්කුඩු ජාවාරමට වැට බැඳීම මෙහි අරමුණ වන අතර මෙහිදී බන්ධනාගාරය අධි ආරක්ෂිත හා අධි තාක්ෂණික ක්‍රමවේදයන්වලින් සමන්විත කරන බවද ආරක්ෂක ලේකම්වරයා පවසයි.
මෙහිදී බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය, බන්ධනාගාර බුද්ධි අංශය හා රාජ්‍ය බුද්ධි සේවාවන් යොදවාගෙන එහි රැඳවියන්ගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය කෙරෙනු ඇත.
විශේෂ යාන්ත්‍රණයක් මගින් මෙම සියලු කටයුතු සිදුකරන බවත්, වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, මොහමඩ් සියාම්, කොස්ගොඩ තාරක ඇතුළුව දරුණු ගනයේ පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියලුදෙනා බූස්සේ රඳවන බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
‘‘රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් සැකසීමට බන්ධනාගාර තුළ සිට සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් සියල්ලටම වැට බැඳිය යුතුයි. මත්ද්‍රව්‍ය ජාවාරම්, අපරාධ සියල්ල මෙහෙයවන්නේ සිරගෙවල්වල ඉන්න අපරාධකරුවන් මින් ඉදිරියට ජංගම දුරකථන රැගෙන යාම මෙන්ම ඒවා භාවිත කළ නොහැකි ආකාරයට සම්පූර්ණ ක්‍රමවේදයක් යටතේ බූස්සේ බන්ධනාගාරයෙන් මෙහෙයුම් පටන් ගන්නවා’’ යැයිද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ආරක්ෂක මේජර් ජනරාල් කමල් ගුණරත්න,
‘‘වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය ඔත්තු සේවාවේ අධ්යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලෛයි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ඇතුළු නිලධාරීන් පෙරේදා (06දා) බූස්ස බන්ධනාගාරයට ගොස් එහි විශේෂ ආරක්ෂක ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ආකාරය ගැන සාකච්ඡා කළහ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
