ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 230ට මොකද වුණේ?
කොවිඩ් මර්දනය කිරීම සඳහා ලෝක බැංකුව මෙරටට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 230ක මුදල් වැය කළේ කුමකටදැයි රටට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රජයෙන් ප්‍රශ්න කරයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (7 වැනිදා) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසුවේය.
තමා ඇතුළු විපක්ෂය අවස්ථා ගණනාවකදීම PCR පරීක්ෂණ ප්‍රමාණය දිනකට 3000 – 5000 සීමාව දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටිය ද රජය පසුගිය පෙබරවාරි 18 වැනිදා සිට අද දක්වා සිදුකර ඇත්තේ දිනකට PCR පරීක්ෂණ 690 කට ආසන්න සංඛ්‍යාවක්.
ලෝකයේ බොහෝ දියුණු දේශපාලන සංස්කෘතියක් හිමි රටවල සියලුම විපක්ෂ කණ්ඩායම් තම රාජ්‍යයන් හි ආණ්ඩුවල කටයුතුවලට සහාය ලබා දෙමින් කටයුතු කළා සේම එක්සත් ජාතික පක්ෂය ද කොරෝනා වසංගතය ට මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට ලබාදුන්න. පසුගිය මාර්තු මස 28 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද තම ස්ථාවරය පැහැදිලිවම සිහිපත් කළා.
එදින ලංකාවෙන් වාර්තා වී තිබුණේ, කොරෝනා ආසාදිතයින් 102ක් පමණයි. කිසිදු මරණයක් වාර්තා වී තිබුණේ නැහැ. මේ වන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1814 සීමාව ද ඉක්මවා තිබෙනවා. රජය නිවැරැදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් බොහෝ කාලයක් රට අගුළු දමා තැබීමට සිදු වූ බව පැවසූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම ද රජය විසින් දැරිය යුතු බවද මෙහිදී පැවැසුවේය. මේ තත්ත්වය මත බොහෝ පිරිසකට තම ආදායම් මාර්ග අහිමි වී ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ ආණ්ඩුව මෙම ගැටලු කිසිවක් තැකීමට ලක් නොකොට කොරෝනා වසංගතයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළ බවට චෝදනාවක් ද එල්ල කළේය.
එහි සම්පූර්ණ වගකීම කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව භාර ගත යුතු බවත් මුහුණු ආවරණ, සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ආදිය නිසි කලට වේලාවට ගෙන්වා නො ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරිය ද වග කිව යුතු බවටත් රනිල් වික්‍රමසිංහ කියයි.
