News

පාළු ළිදකට වැටුණු මිනිසෙක් දින හයකට පසු පණ පිටින් ගොඩ ගනී

ඉන්දුනීසියාවේ බාලි දූපතේ පාළු ළිඳකට වැටුණු බ්‍රිතාන්‍ය ජාතිකයකු මුදා ගෙන තිබේ.

බාලි දූපතේ පෙකටු ගම්මානයේ මීටර 4ක් පමණ ගැඹුරැති ළිඳකට ඇද වැටී තිබුණේ ජාකොබ් රොබර්ට් නමැති 29 හැවිරිදි පුද්ගලයකි. ඔහු එම විපතට මුහුණ දී ඇත්තේ සුනඛයකු පසුපස ලුහුබැඳ යාමේදී බව සඳහන් වේ. එය ජලය සිඳී ගිය ළිඳක් විණ. ළිඳට වැටුණු පසු ගොඩට ඒමට ඔහුට මගක් නොවූයේය.

ගම්මානයද තරමක් පාළු ස්වභාවයක් ගත් එකකි. ළිඳ තුළ සිට ජාකොබ් කෑගැසුවත් ඔහුගේ හඬ කිසිවකුට ඇසී නොමැත. ගව රැළක් දක්කාගෙන ගිය ගොපල්ලකුට අහම්බෙන් මෙන් ජාකොබ්ගේ කට හඬ ඇසී ඇත. ජාකොබ් ළිඳට වැටී ඒ වනවිට දින හයක් පමණ ගෙවී ගොස් තිබිණ. ගොපල්ලා ජාකොබ් පිළිබඳව ප්‍රදේශයේ බලධාරීන්ට දන්වා ඇත. ජාකොබ්ව ළිඳෙන් ගොඩට ගැනීමේ මෙහෙයුම ප්‍රදේශයේ බලධාරීන් ආරම්භ කර තිබෙන්නේ ඒ අනුවයි.

ගොඩට ගන්නා විට ජාකොබ් බෙහෙවින්ම දුර්වල තත්ත්වයක පසුවූයේය. ආසන්නයේ පිහිටි නුසා ඩුආ රෝහලට ඔහුව ඇතුළත් කෙරිණ. ඉන්දුනීසියාවේ බාලි දූපත සංචාරකයන් අතර බෙහෙවින්ම ජනප්‍රියය. ජාකොබ් රොබට් එම දූපතේ පදිංචිකරුවකුද නැත්නම් එහි සංචාරය පිණිස පැමිණි අයකුද යන්න වාර්තා නොවේ. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් බාලි දූපත වසා දමා තිබුණද එහි ඇතැම් ගම්මාන විවෘතව පවතී.

මංජුලා විජයරත්න