ඉඩම් ප්රතිසංස්කරණ කොමිසමේ අඩුපාඩු රැසයි
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂම් සභාවේ කටයුතු පත්වාගෙන යෑමට ප්රමාණවත් පහසුකම් නොමැති වීම එම කොමිෂම් සභාවේ කාර්යක්ෂමතාව ඉහළ නංවාලීට විශාල බාධාවක් බව කොමිෂම් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ ‘අරුණ’ට පැවසීය.
අපි මේ ආයතනය පවත්වාගෙන යන්නේ ලක්ෂ 16ක මාසික කුලී පදනමක් මතයි.
රජයේ ඉඩම් ඔක්කොම වගේ අයිති අපිට වුණාට අපේ ආයතනය පවත්වාගෙන යන්න අපිට ඉඩමක් නැහැ’‘
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂම් සභාව දැනට ස්ථාපිත කොට ඇති ගොඩනැගිල්ල නිරීක්ෂණයේදී එහි ඇති අඩුපාඩු රැසක් දැක ගත හැකි විය. සේවයේ නියුතු නිලධාරීන්ට අසුන් ගැනීමට ප්රමාණවත් පුටු සහ මේස නොමැති කමින් එකම මේසයේ දෙදෙනෙක් සේවය කරන අයුරු සහ අබලන් පුටු රැසක් කාර්යාලය පුරා ගොඩගසා ඇති අයුරු දැක ගත හැකි විය.
මෙම කොමිෂම් සභාවේ ඉතා වැදගත් අංශයක් වන පැවරුම් අංශය පවත්වාගෙන යනු ලබන්නේ ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සාදා තිබූ පිහිනුම් තටාකයේ. ජලය ඉවත් කොට එහි ලෑලි අතුරාය.
‘අපේ දිස්ත්රික්ක කාර්යාල විස්සක් රට පුරා තියෙනවා. ඒවායේ සේවය කරන පිරිසට ක්ෂේත්ර චාරිකා යන්න වාහන නැහැ. ඒත් මේ කොමිසමේ සේවක අතිරික්තයක් තියෙනවා. කළමනාකාර සහායක තනතුරට පසුගිය රජය එකසිය හැත්තෑ දෙනෙක් බඳවාගෙන තියෙනවා. මේ ආයතනයේ තියෙන විශාලම ගැටලුව තමයි උසස්වීම් ක්රමවේදයක් නොමැතිකම යැයිද සභාපතිවරයා පැවසීය.
තනි පුද්ගලයකු සතු විය හැකි උපරිම ඉඩම් ප්රමාණය අක්කර පනහක් ලෙස නීතිගත කළ පසු රජයට හිමි වූ ඉඩම් සංවර්ධනය කිරීම ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂම් සභාව සතු කාර්යභාරයයි. එලෙස රජයට අයත් ඉඩම් ප්රමාණය කෙතරම්ද යන්න තවම නිශ්චිතව හඳුනාගෙන නැති බව සභාපතිවරයා පැවසීය. අපට අයත් ඉඩම් විශාල ප්රමාණයක් තිබෙනවා.
ඒත් ඒ ඉඩම් පිළිබඳ නිශ්චිත තොරතුරු නැහැ. අවුරුදු හතළිස් පහක් තිස්සේ පවත්වාගෙන යන මේ ආයතනයට තවමත් නොහැකි වී තිබෙනවා. සභාපතිවරයාට පමණක් භාවිත කිරීමට වැසිකිළියක් ඇති ගොඩනැගිල්ලක් හදන්න. සභාපති හා අධ්යක්ෂ ජෙනරාල්වරු මේ වන විට භාවිත කරන්නේ එකම වැසිකිළිය, මා රාජ්ය ආයතනයක සභාපතිවරයෙක්. ඒත් හරියට ඉඳගෙන කෑම කන්නවත් තැනක් නැහැ යැයි ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂමේ සභාපති නිලන්ත විජේසිංහ පැවසීය.
කලණ වීරසිංහ
