මුස්ලිම් අන්තවාදය ගැන හිටපු ජනපතිට පොලිස්පතිට කිව්වත් ගණන් ගත්තේ නැහැ
දෙදහස් දොළහ වසරේ සිට පාස්කු ප්‍රහාරය දක්වා මුස්ලිම් අන්තවාදීන් ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට සහ පොලිස්පතිවරයාට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකළ බව බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (13 දා) ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මෙන්ම ඉන් පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටද තමන් වහන්සේ මෙම අන්තවාදින් පිළිබඳ අවස්ථා කිහිපයකදී අවධානයට යොමු කරවූ බව උන්වහන්සේ කීහ.
නමුත් තමන් වහන්සේ ඇතුළු පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳ විමසීම් කළේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා පමණක් යැයි කී ඥානසාර හිමියන් අවස්ථා කිහිපයකදී අන්තවාදීන් සම්බන්ධයෙන් ඒ ඒ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද කීහ.
මේ වනවිට අන්තවාදීන් දේශපාලනය ඇතුළු රටේ බොහෝ ස්ථාන ආක්‍රමණය කර තිබූ බවද බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු නොකළ නිසා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවද උන්වහන්සේ කීහ.
වරුණි පෙරමුණ
