News

කුකුළු කෑම ආදේශක ආනයනයට අවසර

කුකුළුමස් සහ බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා කුකුළු කෑම නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ වගා නොකරන ආදේශකයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.

කුකුළු කෑම සඳහා භාවිත කරන බඩඉරිඟු හිඟය හේතුවෙන් කුකුල් මස් සහ බිත්තර මිල දේශීය වෙළෙඳපොළේ වැඩි වී තිබේ. මේ පිළිබඳ ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 වැනිදා) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

බඩ ඉරිඟු ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය විය. නමුත් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා ලංකාවේ වගා නොකරන වෙනත් ආදේශක ආනයන කිරීමට අවසර ලබාදීමට මෙහිදී අවධානය යොමු කර ඇත.

වෙනත් ආදේශක ආනයනය කිරීමද ලබන ඔක්තෝබර් මාසයෙන් අවසන් කළ යුතු බවද මෙහිදී අවධාරණය කර ඇත. දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 500-650 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වෙයි. බිත්තරයක මිල රුපියල් විස්ස ඉක්මවයි.

එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාලන මිලක්ද පනවා ඇත. පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

උදයජීව ඒකනායක