News

40,000ක් තවමත් මගී නෞකාවල හිරවෙලා

කොරෝනා වයිරසය නිසා මහා සාගරයේ යාත්‍රා කරමින් තිබූ සුවිසල්, සුඛෝපභෝගී මගී නෞකාවලටද විශාල බලපෑමක් එල්ල වූ බව රහසක් නොවේ.

මේ සම්බන්ධයෙන් පළ වූ අලුත්ම පුවතකින් පැවසෙන්නේ මෙම මගී නෞකාවල කාර්ය මණ්ඩලවල සේවය කරමින් සිටි 42,000කට ආසන්න පිරිසක් තවමත් එම නෞකාවල සිර වී සිටින බවයි.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇති බිය නිසා බොහෝ රටවල් තවමත් මෙවැනි පිරිස්වලට සිය රටවලට ගොඩ බසින්නට ඉඩ නොදෙයි.

මේ ආකාරයෙන් නෞකාවල සිරවී සිටින බොහෝ දෙනෙකුට පසුගිය දිනවල වැටුප් පවා හිමිව නැති අතර සමහරුන් කොවිඩ්-19 වැලඳී පීඩා විඳිමින් සිටින බවද සඳහන්ය.මගී නෞකා කිහිපයකින්ම කොරෝනා ආසාදිතයන් හමු වීමත් සමග ලොව බොහෝ නැව් සමාගම් මෙම නෞකාවල ගමන් නතර කිරීමට පියවර ගත්තේය.

ජපානයේ යොකොහාමා වරායේ නවතා තිබූ ඩයමනන් ප්‍රින්සස් නෞකාවෙන් ආසාදිතයන් 600කට ආසන්න පිරිසක් වාර්තා වීම එකල විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. එහි සිටි මගීහු 14 දෙනෙක් කොවිඩ් නිසා මරණයට පත් වූහ.

ඇමෙරිකාව තම මුහුදු සීමාවට මගී නෞකා ඇතුල් වීම ලබන ජූලි 24 වැනි දින දක්වා තහනම් කර තිබේ. කෙසේ වෙතත් ඇතැම් නැව් සමාගම් තම සේවකයින් යම් පිරිසක් ඔවුන්ගේ ගම්රටවල් වෙත යැවීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

සහන් වික්‍රමගේ