යහපාලනය අන්තවාදය ගැන අවධානය යොමු කළේ නෑ-ඥානසාර හිමි
2013 – 2014 කාලවකවානුවේදී තමන් පළමුව මෙරට තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේ එවකට පැවැති ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළද, 2015 වසරෙන් පසු බලයට පැමිණි ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තමන් පැවසූ කරුණු කෙරෙහි අවධානය යොමු නොකළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (15 වැනිදා) දෙවැනි දිනටත් සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඥානසාර හිමියන් සඳහන් කළේ කුරාණයේ ඉගැන්වීම් වලින් ඔබ්බට ගිය හදීස් හි සඳහන් දේ තුළ වහබ්වාදයේ සහ අන්තවාදයේ ව්‍යාප්තිය සිදුවන බවයි. ඒ පිළිබඳ පැහැදිලි කරමින් උන්වහන්සේ පහළ ශ්‍රේණි වල රජයේ ඉස්ලාම් පෙළපොත්වල “හදීස් හදාරා යහගුණ ඇත්තෝ වෙමු’’ යනුවෙන් සඳහන් කර තිබුණද, එම හදීස් ඉගැන්වීම සිදුවන උසස් පෙළ නිර්දේශිත පොත් වල සඳහන් වන්නේ ‘අන්‍යාගමිකයන් මරාදමන්න’ යන්න බවයි.
මුළු මහත් සමාජයම අවනත විය යුත්තේ එකම දෙවියන් වන අල්ලාට පමණක් බවද, කිසියම් තැනැත්තෙක් ඉස්ලාම් ආගම අතහැර ගොස් දින තුනක් තුළ ඒ පිළිබඳ පසුතැවී නැවත හැරී නොඑන්නේ නම් ඔවුන් මරාදමන ලෙස මෙම හදීස්වල සඳහන්ව ඇතැයිද ඥානසාර හිමියෝ පැහැදිලි කළහ.
මෙරට තුළ තවුහිද් ජමාත් සංවිධාන හයක් ක්‍රියාත්මක වන බවද එම හිමියෝ පැවැසූහ.
ජමාත් අන්සාරියා සුන්නත් මොහොමදියා නැමැති සංවිධානය විසින් මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ සිංහල වැසියන් සිටි ගම්මානයක් අන්තවාදය වපුරමින් මුස්ලිම් ගම්මානයක් බවට පරිවර්තනය කර ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
වරුණි පෙරමුණ
