News

මාර්තු, අප්‍රේල් විදුලි බිලේ ගැටලුවලට විසඳුම් නැත්නම් කොමිසමට කියන්න

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ප්‍රශ්නගත වූ විදුලි බිලක් ඇති පුද්ගලයන්ට තම ගැටලුව ප්‍රාදේශීය විදුලි අධිකාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසත් එයින් විසඳුමක් නොලැබෙන්නේ නම් මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දෙන ලෙසත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් පවසයි.

එමෙන්ම පැමිණිල්ලක් නොකළද යම් ගැටලුවක් වේ නම් ඉදිරි මාසවල බිල්පත නිකුත් කිරීමේදී එම ගැටලු නිවැරදි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ විදුලි පුද්ගලික සමාගම කටයුතු කරනු ඇති බවද හෙතෙම පැවැසීය.

මේ වන විට විදුලිබල මණ්ඩලය විසින් මාර්තු සහ අප්‍රේල් මාස සඳහා ලබාදී ඇති බිල්පත් නිශ්චිත පටිපාටියකට සැකසූ ඒවා නොවන බවටද මහජනතාව විසින් චෝදනා ඉදිරිපත් කර තිබේ.

මාර්තු මස විදුලි බිල පෙබරවාරි මස බිලේ ඇස්තමේන්තුවකින් සැකසූ බව කීවද ඇතැම් නිවාසවලට ඉදිරිපත් කර ඇති බිල් පසුගිය දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා වූ බිල් එකතුවේ සාමාන්‍ය අගය බවටද ජනතාව මැසිවිලි නගයි.

මේ අතර මාර්තු මාසයේදී ජනතාව නිවෙස් තුළම රැඳීම නිසා විදුලි බිලේ යම් වැඩිවීමක් සිදුවූයේ නම් එම වැඩිවූ ඒකක ගණන අප්‍රේල් මාසයට එක් කිරීම නිසාද ගැටලු මතුවී ඇතැයි පැවැසේ.

මේ අතර මෙම මාස දෙක ඇතුළත වසා දමා තිබූ නිවෙස් සඳහාද ඉහළ අගයක් සහිත විදුලි බිලක් ලැබීම විදුලිබල මණ්ඩලය මෙන්ම ලෙකෝ විදුලි පෞද්ගලික සමාගම කෙරෙහි පැවැති විශ්වාසය බිඳ දැමීමට හේතුවූ බවද මහජනතාව පවසයි.

මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 800 කට අධිකය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දුරකථන අංකය වන 0770126253 ට (වට්ස් ඇප් සහ වයිබර් තාක්ෂණය ඔස්සේද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.)

ශිරන්තනි මානවඩු