අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න – උසාවියෙන් නියෝග
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් කෝටි පන්දහස් දෙසීයක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ඊයේ (17 වැනිදා) වරෙන්තු නිකුත් කළේය.
මෙම නඩුවේ තවත් සැකකරුවකු වන පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ අජාන් ගාර්දිය පුංචිහේවා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ද මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය. අදාළ වරෙන්තු වහාම ක්‍රියාත්මක කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය. අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රවි කරුණානායක ඇතුළු නඩුවේ අනෙකුත් සැකකරුවන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් අනුව, ඔවුන්ට පැනවූ වරෙන්තු ක්‍රියාත්මක නොකිරීමටද තීරණය විය. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් පුංචිහේවා යන සැකකරුවන්ට වරෙන්තු නිකුත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමක් සිදු නොකළ හෙයින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.
ඉෂාර රත්නකාර
