ශ්‍රී පාද රක්ෂිතයේ කොටි රැකගන්න වනජීවියෙන් අලුත් සැලසුමක්
ශ්‍රී පාද රක්ෂිතය අවට තේ වතු ආශ්‍රිතව වෙසෙන කොටියන් සහ දිවියන් රැකගැනීමේ වැඩසටහනක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබීය.
නල්ලතන්නිය වනජීවි කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන පැවැත්වූයේ ලක්ෂපාන තේ කර්මාන්ත ශාලාවේදීය.
ලක්ෂපාන, මරේ, ස්තැස්පි වතු පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් සහභාගි කර ගනිමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණ.
තේ වතු ආශ්‍රිතව ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීම සඳහා අටවනු ලබන මදු හේතුවෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ වඳවීමේ අවදානමට ලක්වී ඇති පැන්තරා පාදුස් වර්ගයේ කලු කොටියන් සහ දිවියන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කොටියන් සහ දිවියන් කිහිපදෙනෙකු වනජීවි නිලධාරීහු විසින් බේරාගනු ලැබූහ.
දැනට අටවා ඇති මදු ගලවා ඉවත් කිරීමට වතු පාලන අධිකාරියේ සහයෝගය ලබාගැනීමටත්, තේ වතු ආශ්‍රිතව සැරිසරන වන සතුන් දඩයම් කිරීමට නීතිවිරෝධි ක්‍රම භාවිත නොකරන ලෙස වතු කම්කරුවන් දැනුවත් කිරීමත් මෙහිදී සිදුවිය.
රක්ෂිත සහ තේ වතු ආශ්‍රිතව සැරිසරන වන සතුන් දඩයම් කර අධිකරණය හමුවේ වැරදිකරුවකු වන අයකුට ලැබෙන දැඩි දඬුවම් සම්බන්ධයෙන්ද වනජීවි නිලධාරීන් පැමිණි සිටි පිරිස දැනුවත් කරනු ලැබීය.
වනජීවි දෙපාර්තමේන්තුව මගින් දියත් කර ඇති මෙම වැඩසටහන වතුකරය පුරා ඉදිරි දින කිහිපය තුළදී ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් සහකාර වනජීවි අධ්යක්ෂ ගාමිණී වික්‍රමතිලක පැවැසීය.
මෙම වැඩසටහනට වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජී.ඒ. ප්‍රසාද් පර්යේෂණ සහ පුහුණු අධ්යක්ෂ ප්‍රසන්න විමලදාස, හිටපු වනජීවි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය, නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක සහ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ මස්කෙළිය වැවිලි සමාගමේ වතු පාලන අධිකාරියේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.
සිතාර ඉරාෂ් – වටවල
විජිත බණ්ඩාර – මස්කෙළිය
