ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දින සැමරුම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 71 වන ජන්ම දිනය සමරා තිබේ.
අද (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාවක් සිදුකළ අතර චෛත්‍ය මහ මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද සිදුකර තිබේ.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පස්වරුවේ අභයගිරි, පූර්වාරාම මහා විහාරය වැඳපුදාගෙන විහාරාධිපති උතුරුමැද පළාතේ සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.
ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට කැප වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගනිමින් කළ මෙහෙවර පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමිගේ ප්‍රශංසාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.









