News

මගී ප්‍රවාහන ගුවන් යානා බඩු ප්‍රවාහනයට සකස් කරයි

දැනට ලොවපුරා පැතිර පවතින කොරෝනා  තත්ත්වය  නිසා ගුවන් මගීන් ප්‍රවාහනය අඩාල ව ඇති බැවින්  ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසීම සිදු කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ප්‍රථම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සකස් කර එළිදැක්වීම සදහා අද (25) දින උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළ 747 ප්‍රධාන නඩත්තු අංගනයේ පැවති උත්සවයකදී ය.

එහිදී මෙම ගුවන් යානය නවතා තිබූ 747 ප්‍රධාන නඩත්තු අංගනය තුළ ගිනි දැල්වීම තහනම් නිසා , චිරාගත සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීම වෙනුවට , විදුලි බුබුළු සවි කර තිබූ පහනක් ආලෝකමත් කිරීමෙන් එම කටයුත්ත සිදු වීම විශේෂත්වයකි .

මේ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සමූහය අතුරින් ඒ.- 330 – 200 එයා බස් වර්ගයේ ගුවන් යානයක් තෝරා ගෙන තිබුණි .

මෙම ගුවන් යානය තුළ වූ ආසන ගලවා ඉවත් කර , භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමට යෝග්‍ය වන පරිදි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් විසින් දින 10 ක් තුළ සකස් කර තිබුණි .

මෙම ගුවන් යානය තුළ ඝන මීටර් 170 ක භාණ්ඩ ඇසිරීමේ පහසුකම් ඇති අතර , මෙම ගුවන් යානයෙන් මෙට්ට්‍රික් ටොන් 45 ක සමස්ත ධාරිතාවය ඇති භාණ්ඩ තොගයක් එකවර ප්‍රවාහනය කළ හැකිය .

මෙම ගුවන් යානය හෙට (26) දින පළමු භාණ්ඩ තොගය රැගෙන සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය .

ඉදිරියේ දී මෙම ගුවන් යානය යුරෝපය , මැදපෙරදිග , ඕස්ට්‍රේලියාව , ඉන්දියාව සහ ඈත පෙරදිග ඇතුළු ගමනාන්ත 20 කට ගුවන් භාණ්ඩ රැගෙන ගුවන් ගැනීමට නියමිතය .

සමස්ත ලෝකයේත් , ශ්‍රී ලංකාවේත් , විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ මේ වනවිට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන බව අනාවරණය වී තිබේ .

මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ , ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ අංශයේ ප්‍රධානී චාමර රණසිංහ , ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විපුල ගුණතිලක , එක්ස්පෝ ලංකා සමාගමේ හනීෆ් යූෂුප් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාරිභෝගිකයන් , භාණ්ඩ ප්‍රවාහන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වී සිටියහ .