News

කොවිඩ් නිරෝධායන නීති රට්ටුන්ට අමතක වෙලා

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රටේ ක්‍රියාත්මක කළ නිරෝධායන නීති ජනතාවගෙන් ගිලිහීමෙන් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

කොවිඩ් දෙවැනි රැල්ලක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් නිරෝධායන නීති අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි.

යළිත් වරක් වයිරසය ව්‍යාප්ත වීමට ජනතාවගේ ක්‍රියාකලාපය හේතු විය හැකි බව ඔහු අනතුරු අඟවයි. අත් සේදීම සඳහා ස්ථාන සකස් කර තිබුණත් ඇතැම් ස්ථානවල අත් සේදීමේ පහසුකම් ඉවත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් තොටුපොළ විවෘත කරන විට නැවත රටට වයිරසය ඇතුළුවීමේ අවදානමක් ඇති බැවින් වයිරසය සමාජ සම්ප්‍රේෂණය වළක්වා ගැනීම ජනතාවගේද වගකීම බව ඔහු සඳහන් කළේය.

 

උදයජීව ඒකනායක