News

හෝමාගම රෝහලේ දෛනික සායන අද සිට

කොවිඩ් වයිරසය හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ තාවකාලිකව නවතා තිබූ දෛනික සායන කටයුතු අද (29 වැනිදා) සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි ‘අරුණ’ට පැවසීය.

මෙලෙස සායන කටයුතු ආරම්භ කළද බාහිර රෝගී අංශය සහ රෝගීන් ඇතුළත් කිරීමේ කටයුතු අදියර කිහිපයක් යටතේ සිදුකරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව හෙට (30දා) සිට බාහිර රෝගී අංශයේ කටයුතු ආරම්භ කරන අතර රෝගීන් ඇතුළත් කිරීමේ කටයුතු ජූලි 06 වැනිදා සිට ආරම්භ කරන බවද හෙතම කීවේය.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජයෙන් මේ වනවිට ආසාදිතයන් වාර්තා නොවීමත් සමග රෝහල් පරිපාලනය මෙම තීරණය ගත් බවයි.

මේ වනවිට කොවිඩ් ආසාදිතයන් විසිතුන්දෙනකු (23) මෙම රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසේ.

එමෙන්ම කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 60කින් සමන්විත වාට්ටුවක් වෙන්කර ඇති අතර ඉදිරියේදී වාර්තා වන ආසාදිතයන් ඊට යොමු කරන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චාමර පල්ලෙගෙදර