News

වේරහැර රෝහලේ අපද්‍රව්‍ය ප්‍රදේශවාසීන්ට හිසරදයක් වෙයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට අදාළ වේරහැර රෝහලේ අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් අපද්‍රව්‍ය පුළුස්සන චිමිනිය නිසා අවට පදිංචි තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා නගති.

බොරලැස්ගමුව වේරහැර සීලවතී මාවතේ ස්ථාපිත කොට ඇති චිමිනිය සහ අවට නිවාස අතර පරතරය මීටර දෙකක්වත් නොමැති බවද ප්‍රදේශවාසීහු පවසති.

මේ අවට වාසය කරන පිරිස් ශ්වසන ආබාධවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින අතර බොහෝ නිවාසවල ජනේල සම්පූර්ණයෙන්ම වසා තැබීමට නිවැසියන්ට සිදුව ඇත.

2008 ජනවාරි 25 වැනි දිනැති අංක 1533/16 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සායනික අපද්‍රව්‍ය උත්පාදනය කරනු ලබන සෞඛ්‍ය සේවා ආයතන, වෛද්‍ය රසායනාගාර හා පර්‌යේෂණ මධ්‍යස්ථාන අනිවාර්යයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබාගත යුතුය.

එහෙත් අනාවරණය වන කරුණු අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වේරහැර රෝහලේ මෙම කසළ බැහැර කිරීමට අවසර ලබාගෙන නොමැති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ අතර ශ්‍රී ලංකාවේ බහුතරයක් රජයේ සහ පෞද්ගලික රෝහල්වල අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි පරිදි සිදු නොකරන බවට කරුණු අනාවරණය වේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පුළුස්සන චිමිනියේ උස සහ රෝහලේ තෙවැනි මහලේ පිහිටා ඇති සූතිකාගාරය පිහිටා ඇත්තේ එකම මට්ටමක බැවින් අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යයට එය දැඩි තර්ජනයක් එල්ල කරන බවටද චෝදනා පවතී.

කලණ වීරසිංහ