News

කටාර් හිදී ලාංකික මව-පියා-දියණිය ඝාතනය කර ලංකාවට පැනලා

කටාර් හි සේවය කරමින් සිටිය දී පසුගිය මාර්තු පළමු වැනිදා ගෙල සිඳ ඝාතනය කළ ලද තරුණියකගේත් ඇයගේ මවගේ සහ පියාගේත් මෘත දේහ විශේෂ ගුවන් යානයකින් ඊයේ (07දා) මෙරටට ගෙන ආවේය.

මෙලෙස ඝාතනය කර ඇතිතේ කැලණිය සිංහාරමුල්ලේ පදිංචිව සිටි ලෝගිදාසන් මහේන්ද්‍රන් නම් 59 හැවිරිදි පියා, සවරිමුත්තු වික්ටෝරියා නම් 55 හැවිරිදි මව සහ ලෝගිදාසන් මහේන්ද්‍රන් රාජ් සුදර්ශනී නම් 34 හැවිරිදි දියණියයි.

මෙම මල සිරුරු ඊයේ (07දා) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 266 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට ගෙන ආ අතර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මීගමුව මහ රෝහලට යොමු කර ඇත. මෙකී ඝාතන සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටාර් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන බවත් ශ්‍ර්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම මලසිරුරු මාස හතරක් තිස්සේ ලංකාවට ගෙන්වා ගත නොහැකි වූයේ කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ගුවන් තොටුපොළ වසා දමා තිබූ නිසා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවැසීය.

මෙම ඝාතනය සිදු කර ඇති තැනැත්තා මිය ගිය දියණියගේ පෙම්වතා බවත් ඔහු මේ වන විට කටාර් හි සිට ලංකාවට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටින බවට සැක කරන බවද පොලිසිය පවසයි.

මේ අතර සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී මිය ගිය පුද්ගලයන් සිව් දෙනකුගේ මළ සිරුරු ද මෙම ගුවන් යානයේම එවා ඇති අතර ඉන් එක් අයෙකු දිවි නසාගෙ ඇති බවත් අනෙක් පුද්ගලයන් තිදෙනා හෘදයාබාධ වැලඳීමෙන් මිය ගොස් ඇති බවත් හෙළි වී ඇත.

අශිකා ජයවීර •රේමන් අපෝන්සු – මීගමුව