වරාය නගරයේ පාලම් ඉදිකිරීම් කඩිනමින්
කොළඹ වරාය නගරයේ පාලම් දහයක් ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර, ලබන වසර ඇතුළතදී මෙම සියලු පාලම්වල ඉදිකිරීම් මුළුමනින්ම අවසන් කරන ලෙස නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.
අදියර කිහිපයක් යටතේ කොළඹ වරාය නගරය ඉදිකරෙන අතර එහි පාලම් දහයක ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කෙරේ. පාලම් දහය ඉදිවන්නේ කොළඹ වරාය නගරය මැදින් ගමන් කරන මුහුදු ඇළ මාර්ගය හරහාය. මීටර් අසූවක පළලින් යුත් කිලෝමීටර් තුනක් පමණ දිගින් යුත් මෙම මුහුදු ඇළ මාර්ගය කොළඹ වරාය නගරය මැදින් ගමන් කරයි. එමගින් කොළඹ වරාය නගරයට අලංකාර බවක් ලබාදේ.
කොළඹ වරාය නගරයේ ජල බැස්මට හා ඉංජිනේරුමය අවශ්‍යතා සඳහාද මෙම මුහුදු ඇළ මාර්ගය යොදා ගැනීමට සැලසුම් කර තිබේ. මෙහි පාලම් පහක් පදිකයන් සඳහා වෙන් කෙරෙන අතර, ඉතිරි පාලම් පහ රථවාහන සඳහා වෙන්කර තිබේ.
අජිත් අලහකෝන්
