පෞද්ගලික බස් වැඩ වර්ජනයක
රජය පෞද්ගලික බස් හිමියන්ට ලබාදෙන බවට පොරොන්දු වූ සහන මෙතෙක් ඉටු නොකිරීම නිසා ලබන ඉරිදා (12 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්වී අඛණ්ඩ වර්ජනයක් කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් එකමුතුව පවසයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය, දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් පහක් ඒකාබද්ධව ඊයේ (08 වැනිදා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහභාගි නොවූ අතර එහි සභාපති ගැමුණු විජේරත්න ‘අරුණ’ට ප්‍රකාශ කළේ අදාළ වර්ජනයට තම සංගමයේ සහයාද ලබා දෙන බවය. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බස්රථ සංගම් නියෝජිතයන් ප්‍රකාශ කළේ රජය තමන්ට පොරොන්දු වූ රුපියල් ලක්ෂ තුනක බැංකු ණය ඇතුළු සහන ලබාදීම පැහැර හැර ඇති බවය.
එනිසා වර්ජනයට යාමට සිදුවන බව කී ඔවුන් රජයේ පොරොන්දු මාධ්‍ය ඉදිරියේ කළ සංදර්ශන පමණක් යැයිද රජයේ නියෝග පිළිපැදීමට ලීසිං සාමාගම්ද කටයුතු නොකරන බව ඔවුහු පැවැසූහ.
කලන වීරසිංහ
