භාණ්ඩාගාර නියෝජිතයාගේ නොසැලකිල්ලෙන් ලංවිමට කෝටි 1000ක පාඩුවක්
මහා භාණ්ඩාගාර නියෝජිතයාගේ නොසැලකිල්ලෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇති බව විමර්ශනයකින් හෙළි වී තිබේ.
විශේෂ ඉංජිනේරු වැටුප් ක්‍රමය 2014 වර්ෂයේදී සකස් කිරීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇත.
මෙම වැටුප් වැඩි කිරීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතියක් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එහි තීන්දුව 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත්කෙරිණි.
2014 නොවැම්බර් මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පමණක් ලබාදුන් සියයට එකසිය තිහක වැටුප් වැඩි කිරීම නීතිවිරෝධී බව අධිකරණයද තීන්දු කර ඇත. මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා යහපාලන සමයේදී රෝහිණි මාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත් කරන ලදී.
එම විමර්ශන කමිටුවද තීරණය කර ඇත්තේ වැටුප් වැඩි කිරීමේදී මහා භාණ්ඩාගාර නියෝජිතයාගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙම වැටුප් වැඩිවීම සිදුව ඇති බවයි. එම නියෝජිතයා මෙම වැටුප් වැඩි වීමට කිසිදු විටක විරෝධය දක්වා නොමැති බවද විමර්ශන කමිටු වාර්තාවෙන් පෙන්වා දෙයි.
ඉංජිනේරුවන්ට පමණක් වැටුප් වැඩි කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය කේ.කේ.සී.කේ. පෙරේරා මහතාය.
එම කමිටුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු අංශයේ පමණක් අදහස් ලබාගෙන තිබීමද විශේෂත්වයකි.
මෙම වැටුප් වැඩි කිරීම හේතුවෙන් පසුගිය වසර 05 තුළ ඉංජිනේරුවන්ට වැටුප් ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙවා ඇති මුදල රුපියල් කෝටි දහසක් පමණ වන බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි
උදයජීව ඒකනායක
