News

හොර සල්ලි අච්චු ගැසූ සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවට

කලක පටන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සාම විනිසුරුවරයෙක්, 21 හැවිරිදි තරුණියක් හා තවත් පුද්ගලයකු කුරුවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ දොඩම්පේ ස්ථානයක් පසුගිය 11 වැනිදා කුරුවිට පොලිසිය මගින් වටලා තිබේ. එහිදී හොර මුදල් නෝට්ටු, පරිගණක යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ජංගම දුරකථන දෙකක්, ඩොංගල් එකක් ඇතුළු ඒ සඳහා භාවිත කළ විශේෂ කඩදාසි තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් භාරයට ගෙන ඇති ව්‍යාජ මුදල් නෝට්ටු අතර රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 21ක්ද, රුපියල් පන්සීයේ නෝට්ටු 34ක්ද, රුපියල් දහසේ නෝට්ටු 2ක් තිබී ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් වන්නේ බෝටියාව, දොඩම්පේ පදිංචි 44 හැවිරිදි කුඩාගේ පියරත්න නමැති මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු හා මහගල්කඩවල, ලේතොලවැව පදිංචි මොහන්දිරන් රාලලාගේ ලලිත් නමැති පුද්ගලයකු හා මණ්ඩදෙණිය දොඩම්පේ පදිංචි බෝපැත්තලාගේ මධුවන්ති මංගලා නමැති 21 හැවිරිදි තරුණියකි.

කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් රත්නායකට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් පොලිසිය මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී මෙය දිගු කලක පටන් සිදුකර ඇති බවට ඔවුන් ප්‍රකාශ කර ඇත. සැකකරුවන් තිදෙනා හා මුදල් නෝට්ටු තොගය අදාළ උපකරණ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.