කන්දකාඩුවේ කෝවිඩ් පොකුර තැන් තුනකින් එළියට
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් 19 පොකුර ඊයේ (13වැනිදා) වන විට තංගල්ල, මොනරාගල සහ රත්නපුර ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇත.
ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ විලඔය හා උණාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකුට වයිරසය ආසාධනය වී ඇති බව මොනරාගල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පී.පී.කේ. අදිකාරි ‘අරුණ’ට පැවැසීය.
එමෙන්ම තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයෙන් ආසාදිතයකු හමු වීමත් සමග එම ප්‍රදේශයේ පවුල් හයකට අයත් පුද්ගලයන් දහනව දෙනකු මීගමුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
මෙම ආසාදිත පුද්ගලයා ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කළ විසිපස් හැවිරිදි හමුදා සාමාජිකයෙක්. ඔහු තංගල්ල බස් නැවතුම්පොළේ ඉහළ මහලේ ඇති රූපලාවණ්‍යාගාරයකට පැමිණ කොණ්ඩය කපා සුපිරි වෙළෙඳසලකට ගොස් ඇති බවද හෙළි වී තිබේ.
රත්නපුර දේවාලේගාව, කලවාන, කුරුවිට-මිල්ලවිටිය සහ ඇහැළියගොඩ-තොරණගොඩ යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් ආසාදිතයින් හතර දෙනකු වාර්තා වූ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවැසීය. ඒ අනුව එම ආසාදිතයින්ගේ පවුලේ ඥාතීන් බියගම යුද හමුදා නිරෝධායන කඳවුරට යොමු කර ඇති බවත්, තවත් පුද්ගලයින් හැට දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරු ඇතුළු නිලධාරීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (13දා) දිනයේ ද මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
පෙරේදා (12දා) කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් හඳුනා ගත් උපදේශකවරයා පාසල්, බැංකු, වෙළෙඳසල් සහ විවිධ ආයතනවලට ද ගොස් ඇත. ඔහුගේ සමීපතමයන් සියයක් මේ වන විට ස්වයං නිරෝධායන ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේය.
එමෙන්ම ඊයේ (13දා) දිනයේ දී පමණක් ආසාදිත පුද්ගලයන් 14 දෙනකු වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අයත් පුද්ගලයන්ය.
ඒ අනුව මේ වන විට එම මධ්‍යස්ථානයෙන් පමණක් ආසාදිතයන් 506 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ අතර සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්ද කොවිඩ් ආසාදිතයින් එකොළහක් ඊයේ (13දා) සවස වාර්තා විය.
කොවිඩ් 19 වයිරසය ආසාධිතයන් අතරින් මේ වන විට පුද්ගලයන් 1981 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි. මේ අතර ආසාදිතයන් 652ක් රෝහල් අටක ප්‍රතිකාර ලබන බවද එම අංශය සඳහන් කළේය.
මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2644 ක්.
චාමර පල්ලේගෙදර
