News

රජයේ සේවකයන්ට නිදහස් බස් රථ ප්‍රවේශ පත් තුනක්

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට සහ රජයේ සක්‍රිය සේවකයන්ට දැනට හිමි වාර්ෂික නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර තුනට අමතරව වාර්ෂිකව බස් රථවල ගමන් කිරීම සඳහාද නිදහස් ගමන් බලපත්‍ර තුනක් ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් කීවේය.

ඇමැතිවරයාගේ දඹුල්ලේ පිහිටි නිවසේදී රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී ඔහු ඒ බව පැවැසීය. එම තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

දුම්රිය ධාවනය නොවන ප්‍රදේශවල රාජ්‍ය සේවකයන්ගේ තත්ත්වය සැලකිල්ලට ගෙන බස් රථවලින් ගමන් කිරීමට ඔවුන්ට වාර්ෂිකව නිදහස් ගමන් බලපත්‍ර තුනක් ලබාදීමට හැකි බව ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙවැනි පහසුකම් රජයේ සේවකයන්ට ලබාදීමෙන් අ​පේක්ෂා කරනුයේ ඔවුන්ගේ සේවා වඩාත් දිරිගැන්වීම බව පැවැසූ අමාත්‍යවරයා එමගින් ඔවුන්ගෙන් ගුණාත්මක ජනතා මෙහෙවරක් ඉටු වෙතැයිද කීවේය.