News

මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කරන්න වෙබ් අඩවියක්

මැතිවරණයේ දී පොදු දේපල අවභාවිතා කරන්නන් පිළිබඳව තොරතුරු දැනගැනීම හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය වෙබ් අඩවියක් ආරම්භ කර ඇත.

apesalli.lk නමින් මෙම වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර එම වෙබ් අඩවියට පිවිස තමන්ට ඇති පැමිණිල්ල එහි සඳහන් කර එවීමට ඕනෑම අයෙකුට හැකියාවක් ඇත.

එහි දී තම අනන්‍යතාව හෙළි නොකර පැමිණීල්ල කළ හැකි බවත් පොදු දේපල අවභාවිතයට එරෙහිව කටයුතු කිරීමේ දී ජනතාවගේ මැදිහත්වීම ලබා ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කළ බව ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා එම ආයතනයේ අද (20) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.

සිංහල හා දෙමළ යන භාෂාවලින් එම වෙබ් අඩවියට පිවිස පැමිණිලි ඉදිරිපත් කළ හැක.

ඉතිහාසයේ පළමුවරට පොදු දේපළ අවභාවිතා කිරීම පිළිබඳ තහවුරු කරගත් තොරතුරු සිතියම් ගත කර ඉදිරිපත් කරනු ඇත.

මේ වනවිට පොදු දේපල අවභාවිත කිරීම් පිළිබඳ සිද්ධීන් 103 තමන් වෙත ලැබී ඇති අතර එයින් 83 ක් තහවුරු කරගෙන ඇතැයි ද ඒවා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ බව ද ඔබේසේකර මහතා තවදුරටත් කියා සිටියේය.