News

ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ වැඩිවෙලා

ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් දක්නට ඇතැයි “ළමා හිංසනයට තිත පදනම” පවසයි.

2020 මුල් දින 15 තුළ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසවලින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී ඇති බව එම පදනම පවසයි.

එම සංඛ්‍යාව ළමා අපයෝජන සිද්ධීන් 5,242ක් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 1,642 ක් දක්වා ඉතාමත් වේගයෙන් ඉහළ ගොස් තිබෙන බව එම පදනම පෙන්වා දෙයි.

2017 අවසානය වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ වසර දහයකට වඩා කල් ගත වූ ළමා අපයෝජන සිද්ධීන් 17,000 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී තිබිණි. මෙම අගය 2018 අවසන් වන විට 20,000 ඉක්මවා ගොස් ඇතැයි විශ්වාස කෙරෙන බව ද එම පදනම පැවසීය.

“වින්දිතයින් හට විනිශ්චයක් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව අමිහිරි මතකයන්වලින් පීඩාවට පත් වෙමින්, ඉතා අවාසනාවන්ත ජීවිත ගත කිරීමට සිදුව තිබේ,” යනුවෙන් ළමා හිංසනයට තිත පදනම පවසයි.

“2018 ජනවාරි මස, ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ පස්වන හා හයවන වාර්තා පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ කමිටුවේ අවසන් නිරීක්ෂණ මගින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අලස ප්‍රතිපත්තිය බරපතල අවධානයට යොමු කෙරු‍ණේ රතු නිවේදනයක්ද නිකුත් කරමිනි”.

ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ළමා හිංසනයට තිත පදනම, ‘#දැන් ඇති’ ජාතික ව්‍යාපාරය අරඹා ඒ ඔස්සේ ළමා සහ කාන්තා හිංසනයට එරෙහිව මහජනයා දැනුවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අරමුණින් වීඩියෝ, පෙත්සම් සහ මහා පුරවැසි සංවාද ආදී වැඩසටහන් දියත් කර ඇත.

මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරය ෆේස්බුක් මගින් පළ කරන මුල්ම Zoom මහා පුරවැසි සංවාදය, https://www.facebook.com/ stopchildcruelty ඔස්සේ 2020 ජූලි 25 වන දින රාත්‍රී 7 සිට සජිවීව පැවැත්වේ.

එම සංවාදය සඳහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ,‍ මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ, නීතිඥ අචල සෙනෙවිරත්න, ඇතුළුව තවත් විද්වතුන් මෙන්ම වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සහභාගි වීමට නියමිතය.