අ’පුර රෝහලේ වෛද්‍ය හිඟයක්
උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් නොමැති වීම නිසා එම ඒකකයේ දැඩි සත්කාර ඒකකය සහ වාට්ටු වසා දැමීමේ තත්ත්වයක් උද්ගතව ඇති අතර, නේවාසික රෝගීන් බාර ගැනීමද නවතා දමා ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය පිරිමි සහ ගැහැනු වශයෙන් වාට්ටු දෙකකින්ද,හෘද දැඩි සත්කාර ඒකකයකින්ද යුතුය.
හෘද රෝග ඒකකයට වෛද්‍යවරුන් 12 දෙනෙකු අවශ්‍ය වූවද, දැනට සේවයේ නිරතව සිටින්නේ වෛද්‍යවරු හතරදෙනකු පමණක් බවත් වෛද්‍යවරුන් නොමැති වුවහොත් වාට්ටුව පවත්වාගෙන යෑමේ ගැටලු තත්ත්වයක් උද්ගතවන බවත් රෝහල් අධ්‍යක්ෂ,වෛද්‍ය දුලාන් සමරවීර කීවේය.
මෙම ඒකකයේ පිරිමි සහ ගැහැනු වාට්ටු දෙකෙහිම නේවාසික රෝගීන් 40 දෙනෙකු පමණ ප්‍රතිකාර ගනිමින් ඇත.
වෛද්‍යවරු නොමැතිවීම හේතුවෙන් හෘද රෝග සායනයේ කටයුතු පවත්වාගෙන යාමටද බාධා එල්ලවී ඇත.
මෙම ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කළ බවත්, අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අද (23 වැනිදා) විසඳුමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර වෛද්‍ය සංගමය සමගද සාකච්ඡා කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා කියයි.
සාලිය කුමාර ගුණසේකර
