News

කළුතර සහ හෝමාගම රෝහල් ශික්ෂණ රෝහල් කිරීමට අනුමැතිය

කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීමට කැබනට් අනුමැතිය ලැබී තිබේ.

අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍යසේවා ඇමතිනිය ඉදිරිපත් කළ එම යෝජනාවට ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බවයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීථයක් ස්ථාපනය කිරීම සදහා මේ වන විට සැලසුම් කරමින් පවතින අතර, එහි අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනූව යෝජිත වෛද්‍ය පීථයේ මහාචාර්ය ඒකකය කළුතර මහ රෝහල තුළ පිහිටුවීමට හැකි වන පරිදි සහ අදාල සායනික පුහුණුව හෝමාගම මූලික රෝහල තුළදී ලබාදීමට හැකි වන පරිදි කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීමට අපේක්ෂිතය.

මහරගම රෝහල කෝවිඩ් වසංගත සමයේ කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා යොදාගත් රෝහලක් වශයෙන් යොදාගත් බව සිහිපත් කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, කළුතර සහ මහරගම යන රෝහල් 02ම ජාතික රෝහල් බවට පත්කිරීමට කටයුතු කරන බවයි.