News

ඉන්දීය බිරියන්ගෙන් මෝදිට පෙත්සමක්

‘‘කොස්ස හැසිරවිය යුත්තේ කාන්තාව විසින් පමණක් ද?’’ යනුවෙන් ස්වාමිපුරුෂයන් ගේදොර වැඩ කටයුතු සඳහා දක්වන දුර්වල දායකත්වය ප්‍රශ්න කරමින් ඉන්දීය කාන්තාවන් පිරිසක් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

change.org වෙබ් අඩවියේ පළ කර ඇති මෙම පෙත්සමට පදනම් වී ඇත්තේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිදු කළ අගුළු දැමීම් හමුවේ ‘ගේදොර වැඩ කළ යුත්තේ කාන්තාව විසින් පමණක් ද?’ යන්න පිිළිබඳව නැගුණු සමාජ සාකච්ඡාවයි. මෙම සාකච්ඡාව මේ වන විට ඉන්දීය දේශපාලන වේදිකාවට ද පැමිණ ඇත.

ඉන්දියාවේ ගේදොර වැඩකටයුතු සාමාන්‍යයෙන් ‘බර ඉසිලීමකට’ සමාන කර ඇති අතර ගේදොර අතුපතුගෑම, රෙදි සේදීම හා වියළීම, ආහාර පිසීම මෙන්ම දරුවන් රැකබලා ගැනීම ද කාන්තාවන්ගේ නොනිල වගකීමක් ලෙසින් සැලකේ. මීට අමතරව ඉන්දීය කාන්තාව විසින් වැඩිහිටි හා රෝගී පවුලේ සාමාජිකයන් ද රැකබලා ගත යුතුය.

රට පුරා අගුළු දමා තිබූ පසුගිය වකවානුවේ දී සේවක සේවිකාවන් නොමැති මිලියන ගණනක් මධ්‍යම පාන්තික හා දුගී ඉන්දීය නිවාසවල කන්තාවන් මෙම විශාල වගකීම තනිව දැරිය යුතු ද යන්න පිළිබඳව විශාල කතිකාවක් නිර්මාණය විය.

මෙම කතාබහ පදනම් කර ගනිමින් ගේදොර කටයුතුවල දී පිරිමින්ගේ වගකීම් පැහැර හැරීමට එරෙහිව සටන් කිරීම සඳහා සුබර්නා ගෝෂ් නමැති සමාජ ක්‍රියාකාරිනියක් මැදිහත්ව මෙම පෙත්සම නිර්මාණය කර ඇත. එමගින් පුරුෂයන් ප්‍රශ්න කරන අතරම ගේදොර වැඩවල දී සමාන කොටසක් ඉසිලීමට පුරුෂයන් දිරිගැන්වීම ද අපේක්ෂා කරන බව ඇය ප්‍රකාශ කර තිබේ.

 

නයන තරංග ගමගේ