News

ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය

ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ දී සාර්ථකව කිරීමට හැකි වූ බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් සිරිවර්ධන පැවැසීය.

යාපනය මුලායි ප්‍රදේශයේ පදිංචි එස්. කිෂාණු 9 හැවිරිදි දියණියට ඇයගේ මව විසින් ලබා දුන් අග්න්‍යාශ කොටසක් සාර්ථකව මෙලෙස බද්ධ කිරී​මෙන් පසු කිෂාණු ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බව මහාචාර්ය රොහාන් සිරිවර්ධන වැඩිදුරටත් පවසා සිටියේය.

රාගම වෛද්‍ය පීඨය හා උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඒකාබද්ධව 2011 දී ආරම්භ කරනු ලැබූ අක්මා බද්ධ ශෛල්‍ය ඒකකය තුළ මේ වන විට සාර්ථක අක්මා බද්ධ 50ක් සිදු කර තිබේ. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි ඒ බව පැවැසීය.

මවගේ අක්මාවෙන් 35%ක කොටසක් කිෂාණු දියණියට ලබා දී ඇත. මෙවැනි ආකාරයේ අක්මා බද්ධයක් ඉන්දියාවේ රෝහලක සිදු කිරීමට රුපියල් මිලියන 15 පමණ මුදලක් වැය කිරීමට සිදු වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු පවසා සිටියාය. ලංකාවේ දී මෙම ශල්‍යකර්මය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කිරීමට හැකි වීම ගැන සතුටු වන බවද ඔවුහු පැවැසූහ.