News

කොවිඩ් පාලනය වුණත් රටේ මිනිස්සු හැංඟිලා

කොවිඩ් -19 වයිරසය ව්‍යාප්තිය පාලනය වී පැවතියද මෙරට ජනතාව තවමත් සංචාරය කිරීමට සහ රැස්වීමට මැළිකමක් දක්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මහ බැංකුව විසින් සම්පාදනය කරන ලද ‘මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව පසුගිය ජුනි මාසය වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති නමුත්, සේවා යථා තත්ත්වයට පත්වීම දුර්වල මට්ටමක ඇති නිසා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරයටද ප්‍රබල පහරක් එල්ල වී ඇත.

එම දර්ශකය මගින් අනාවැකි පළකර ඇත්තේ 2020 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට හතරක් දක්වා හැකිළී යා හැකි අතර අයවැය හිඟය දළ වශයෙන් සියයට එකොළහක් දක්වා පුළුල් විය හැකි බවයි. ආනයන තහනමද සේවා ක්ෂේත්‍රයේ හැකිළීමට හේතුවී ඇති බව පෙන්වා දෙන මහ බැංකුව 2020 දෙවන කාර්තුවේදී මෙම හැකිළීම තවදුරටත් සිදුවනු ඇතැයි පුරෝකථනය කරයි.

නයන තරංග ගමගේ