News

පොලොන්නරුවේ ඡන්ද නිලධාරීන්ට දවල් බතට හාල් දීලා

පසුගිය 5දා පැවති මහ මැතිවරණ රජකාරිවල නිරතව සිටි ලංකාපුර කොට්ඨාසයේ ජන්ද පොළ නිලධාරීන්ට එදින දහවල් කෑම වේල සදහා
බත් පැකට් ලබාදී තිබූ නමුත් බත් වෙනුවට ඒවායේ තිබුණේ කෑමට නොහැකි බාගෙට තැම්බූ හාල් යැයි එම නිලධාරිහූ චොදනා නගා
තිබේ.

ලංකාපුර කොට්ඨාසයේ ජන්ද මධ්‍යස්ථාන 26 ක් තිබූ අතර 147 ගල්අමුණ වසමේ 7 කණුව ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේද ජන්ද මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණි.එම නිලධාරීන්ද එම කෑම පැකට් නිසා අපහසුතාවට පත්ව තිබේ.

මේ බව දැනගත් එම විහාරස්ථානයේ විහාරාධිපති පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආයුර්වේද වෛද්‍ය ළිදකුඹුරේ
සෝභිත නාහිමියෝ තම විහාරස්ථානයට ලැබී තිබූ දවල් දානයෙන් කොටසක් කුසගින්නේ සිටි එම නිලධාරීන්ට ලබා දීමට කටයුතු කළ
බව අප සමග පැවැසූහ.එවැනි ප්‍රමිතියෙන් තොර ආහාර ලබාදීම පිළිබඳව බලධාරීන්ට චෝදනා කළ උන්වහන්සේ මේ හේතුවෙන්
නිලධාරීන් කුසගින්නේ තැබීමට කටයුතු කළ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ගැන වහාම සොයාබලා කටයුතු කළයුතු යැයි වැඩි දුරටත්
පැවසූහ.

ලයනල් .ද. සොයිසා-ලංකාපුර