News

පත්කළ ඇමැති මණ්ඩලයේ කිසිම විද්‍යාත්මක පදනමක් නැත – සමගි ජන බලවේගය

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කර ඇත්තේ කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.

අමාත්‍යාංශවල විෂයපථ බෙදී ගොස් ඇති ආකාරය පැහැදිලිවම ගැටලු සහගත බවද, එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ‘අරුණ’ට පැවසීය.

කිසිම විද්‍යාත්මක පදනමකින් නොවෙයිනෙ මේ ඇමැති ධුර බෙදල තියෙන්නේ. සමහර ඇමැති ධුරවල නම් ජනතාව ඉදිරියේ කියන්නත් ලැජ්ජයි කියල ඇමැතිවරු කියනව ඇහුණා. අල ඇමැති, මැටි ඇමැති, බතික් ඇමැති වගේ හාස්‍යජනක පදනමකින් තමයි ඇමැතිකම් බෙදල දීල තියෙන්නේ.

අනිත් කාරණේ තමයි වැදගත්ම අමාත්‍යාංශ ටික රාජපක්ෂවරු අතර බෙදා ගැනීම, මේ මැතිවරණ ප්‍රතිඵලයට අනුව ඔවුන්ට ඡන්දය ලබාදීල තියෙන්නේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න. නමුත් මේ පත්කරලා තියෙන්නේ එතුමාගේ වැඩසටහන ඉදිරියට ගෙනියන පිරිසක් නෙමෙයි. ඒ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් මේ කැබිනට් මණ්ඩලයෙන් ජනතා මතය පිළිබිඹු වෙන්නේ නැහැ කියල.

තරුණ අලුත් පිරිසකුත් මේ අතර ඉන්නවා තමයි. නමුත් වැඩිම බලතල ප්‍රමාණයක් බෙදී ගිහින් තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ හිතවතුන් අතර. ඒ නිසා මේ ඇමැති මණ්ඩලය පිළිබඳව කිසිසේත්ම සතුටුවෙන්න පුළුවන් කියල අපිට කියන්න බැහැ.’’

නයන තරංග ගමගේ