අපේ ජන බලේ ලේකම් හිමි පොලීසියෙන් සොයයි
මහනුවර අස්ගිරි මහ විහාර සංකීර්ණයේ පිහිටි පෞරාණික වටිනාකමින් යුත් විහාරස්ථාන ගොඩනැගිල්ලකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපේ ජන බලවේගය පක්ෂයේ ලේකම් බව පැවසෙන වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අස්ගිරි මහා විහාර සංකීර්ණයට අයත් වසර 700කට වඩා ඉපැරණි වැල්ලව විහාර භූමියේ පෞරාණික ගොඩනැගිල්ලකට අදාළ හිමිනම විනාශයක් සිදු කර තිබෙන බව එම විහාරාධිපති බව කියන කලංකුට්ටියේ රාහුල හිමි මහනුවර පොලිසියට පැමිණිළි කර ඇත.
එකී පැමිණිල්ලට අනුව පොලීසිය පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විහාර භූමියේ පෞරාණික වටිනාකම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන ඇත. එම වාර්තාව මගින් වැල්ලව විහාර භූමිය පෞරාණික වටිනාකමින් යුත් ස්ථානයක් බවත් එහි මැද මිදුල කොටසේ සිදුකර තිබෙන අනවසර ඉදිකිරීමක් මගින් පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය වී තිබෙන බවත් දක්වා වාර්තාවක් එවා තිබේ.
ඒ අනුව මේ වන විට සැඟවී සිටින වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙන බවත් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පවසයි.
කමල් සුරවීර – මහනුවර
