රජය හොඳ වැඩක් කරනවා නම් අපි විපක්ෂය වශයෙන් සහාය දෙනවා
සාම්ප්‍රදායික විපක්ෂයක් වශයෙන් කටයුතු නොකොට රජය විසින් සිදුකරන යහපත් කටයුතු වලට සහය දක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
අද (19) පෙරවරුවේ මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය, අප හිතන ආකාරයට තුනෙන් දෙකේ බලයක් කිසිදු හෝ රජයකට ,පක්ෂයකට අවශ්‍ය වන්නේ නෑ. එවන් විශාල බලයක් තනි පක්ෂයට ලැබුන හොත් ඔවුන් බලය අනිසි ආකාරයෙන් භාවිතා කිරීමේ අවදානමක් අනිවාර්යෙන්ම උද්ගත වෙනවා. රජය හොඳ වැඩක් කරනවා නම් අපි විපක්ෂය වශයෙන් සහාය දෙනවා. එදා අපි 19 සංශෝධනය ගෙනාවේ තුනෙන් දෙකේ බලයක් තිබිලා නෙවෙයි. අද රජය සැරසෙන්නේ 20වන සංශෝධනය ගෙනල්ලා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන්නයි. ඒක තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණ.
වර්තමාන රජය නීතිය සමට එක සමානයි කීවත් ඒක එහෙම නොවෙන බව කුරුණෑගල නගරාධිපති හට නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාටත් වැටහෙනවා. එක්සත් ජාතික පක්ෂය සිදු කළ වරදින් තමයි රජයට තුනෙන් දෙකේ බලයක් ගන්න අවස්ථාව සැලසුණේ. අපි එක්ව තරඟ කරානම් ඇතැම්විට අපිට රජයක් ස්ථාපිත කරන්න අවස්ථාව සැලසෙන්නත් ඉඩ තිබුණා. දැන් එක්සත් ජාතික පක්ෂයට කරන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය භාර දී ජනමතයට හිස නැමීමයි. එහෙම වුනොත් අපිත් දෙපාරක් නොසිතා ඒ පක්ෂයේ සාමාජිකත්වය අරගෙන පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. අන්තර්කාලීන වශයෙන් කරු ජයසූරියට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දුන්නට ප්‍රශ්නයක් නෑ. හැබැයි එතුමා වසරකින් පමණ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යෙන් ලබාදිය යුතුයි. එසේ නොකළ හොත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන් ලක්ෂ දෙකහමාර ඉදිරි කෙටි කාලය තුළදී විසිපන්දහක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.
පසුගිය මැතිවරණයේදී අපේ ඡන්ද ලක්ෂ 25 ක් විතර භාවිතා වුණේ නෑ. ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඒ ඡන්ද ලබාගන්න අපි කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ කාර්යභාරය හරියටම ඉටු කරන්න අපි කටයුතු කරනවා. ජාතික සමගි ජන බලවේගය කියන්නේ සියලුම ජාතීන්ට ආගමිකයන්ට එකසේ සලකන පක්ෂයක්. අපි මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙක් ලබා ගන්න කටයුතු කරා ඒ වගේම ඉදිරියේදී අපි ශක්තිමත්ව එක්ව කටයුතු කරනවා යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කමල් සුරවීර මහනුවර

