News

අධිකරණට ආ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සෙවිලි තහඩු ප්‍රශ්නය

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර චමින්ද ජයසිංහ මහතා එම ධුරයෙන් අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සම විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් නොතිසි නිකුත්කර ඇත.

මෙසේ පෙත්සම ගොනුකර ඇත්තේ හෝමාගම බදු ගෙවන සංගමයේ සභාපති ගමගේ විජේරත්න මහතායි.

ඔක්තෝම්බර් මස 6 වන දා ඒ අනුව කරුණු දක්වන ලෙස එහි වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටින බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, හෝමාගම ප්‍රාදේශීය සභාව, එම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, එම ප්‍රාදේශිය සභාවේ ලේකම්, බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන සහකාර කොමසාරිස් යන අය වෙත නොතිසි නිකුත්කරන ලෙසද නියෝග නිකුත්කර ඇත.

අදාළ පෙත්සමේ පෙත්සම් කරු කියා සිටින්නේ 2019 වර්ෂයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ට බෙදා දීම සඳහා මිලදීගෙන ඇති සෙවිලි තහඩු 1040 කින් එක් තහඩුවකින් රු:380ක වංචාවක් කර ඇති බවයි.

එමෙන්ම මෙම ගනුදෙනුව අවිධිමත් බව වගඋත්තරකාර පළාත් පාලන සහකාර කොමසාරිස් විසින් සිදුකල විමර්ශනයකින් ඔප්පුවී ඇති බව පෙත්සම් කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.