News

බෞද්ධ විශ්වවිද්‍යාල 2ක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට එහිදී අවධානය යොමු වී ඇත.

ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඊයේ(21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දීයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති උපදේශක සභා වාර 04කදී මහා සංඝරත්නය කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බවත් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා පවසා සිටියේය.

එමෙන්ම දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් සහ බෞද්ධ විශ්වවිද්‍යාලවල උන්නතිය වෙනුවෙන් එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.