රූපවාහිනී හා චිත්‍රපට අධ්‍යක්ෂිකාවට වෙඩි තබා මරයි
ඇෆ්ගනිස්තානයේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂිකාව ලෙස හැඳින්වෙන සබා සහාර් වෙඩි තබා ඝාතනය කර තිබේ. හතළිස් හතර හැවිරිදි සබා නොහඳුනන වෙඩික්කරුවන් තිදෙනෙකුගේ ඉලක්කය වී තිබෙන්නේ කාබුල් අගනුවරදීය.
වෙඩි ප්‍රහාරයට ලක්වන විට ඈ නිවසේ සිට රාජකාරි කටයුතු සඳහා යමින් සිටි බව සඳහන් වේ. නිවසෙන් ගමන් අරඹා මිනිත්තු පහකට ආසන්න කාලයකදී ඈ වෙඩි ප්‍රහාරයට ලක් වූ බව ඇගේ සැමියා එමල් සාකි පවසයි.
එවේලෙහි නිවසේ සිටි තමාට වෙඩි හඬ ඇසුණ බව ඔහු මාධ්‍යට පවසා තිබිණ. ඔහු ඒ අවස්ථාවේදී සබාට වහාම දුරකථන ඇමතුමක් දී ඇත. තමන්ගේ උදරයට වෙඩි වැදී ඇති බව ඈ එවෙලෙහි ඔහුට පවසා තිබේ.
“මම ඉක්මනින්ම සිද්ධිය වූ ස්ථානයට ගියා. ඇයට ප්‍රථමාධාර ලබාදී හදිසි අනතුරු රෝහල වෙත රැගෙන ගියා. එතැනින් පොලිස් රෝහලට ඇයව පසුව මාරු කර යැව්වා….” යැයි එමල් කියයි. පොලිස් රෝහලේදී සබාට ශල්‍යකර්මයක්ද සිදු කර තිබේ. එහෙත් පසුව ඈ ජීවිතක්ෂයට පත්ව ඇත. ඇයට සිදු වූ තුවාල සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී සබාගේ මෝටර් රථයේ පස්දෙනෙකු ගමන් කරමින් සිටි බව වාර්තා වේ. ඔවුන් අතර ඇගේ පුද්ගලාරක්ෂකයන් දෙදෙනා, සබාගේ දරුවකු සහ රියැදුරා සිට ඇත. වෙඩි වැදීම හේතුවෙන් පුද්ගලාරක්ෂකයෝ දෙදෙනා තුවාල ලබා සිටිති.
චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් අධ්යක්ෂණයට අමතරව සබා රංගන ශිල්පිනියක ලෙසද දේශපාලන සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ලෙසද කටයුතු කළාය. ඈ පුහුණු පොලිස් නිලධාරිනියකද වූ බව සඳහන් වේ. ඝාතනයට ලක්වන විට ඈ සේවය කළේ ඇෆ්ගනිස්තානයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේය.
ඈ අධ්‍යක්ෂණය කළ රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපටවලින් ඇෆ්ගන් සමාජයට අවධාරණය කෙරුණේ නීතියේ සහ යුක්තියේ ඇති වැදගත්කමයි. කාන්තා හඬට ඉඩක් නැති, අවිගත් වුන් රජවුණු ඇෆ්ගන් සමාජයේ, ඈ පසුගිය කාලය ගෙවා දමා තිබෙන්නේ මරණ තර්ජන මැදය.
මංජුලා විජයරත්න
