News

මත්ස්‍ය ආනයන සඳහා වැය වන විදේශ විනිමය පහතට

මෙරට මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම, පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

එමෙන්ම විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් ගැන ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

මෙරටට ගෙන්වන මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැය කරනවා .

ජනාධිපතිවරයා තුමන් අවධාරණය කළේ රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ප්‍රයෝජන ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතු බවයි.

ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට මෙතෙක් දී ඇති දායකත්වය 1%ක්. විසිතුරු මත්ස්‍ය වර්ග 700කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කිරීමේ හැකියාව ඇතැයි විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවෝ පෙන්වා දී ඇත.

ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

රට අභ්‍යන්තරයේ ඇති වැව් සංඛ්‍යාව 18,000ක් එහෙත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට යොදාගෙන ඇත්තේ 1500කට ආසන්න වැව් සංඛ්‍යාවක්.

තවද මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනයට මත්ස්‍ය පැටව් 90,000ක් වැව්වලට මුදාහැරීමට සැලසුම් කර ඇති බවට මෙම සාකච්ඡාවේදී කරුණු හෙලි කළා.