නායකකම බලෙන් නොගන්නා බව කරු කියයි
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද තමා සතු බවත් බිංදුවට වැටී තිබෙන පක්ෂය යළි ගොඩනැගීමට තමන්ට හැකි බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා මල්වතු මහනාහිමි හමුවේ ඊයේ (31 වැනිදා) පැවැසුවේය.
1996 වසරේදී දේශපාලනයට පැමිණි දා සිට එජාපයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ තමන් රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට නිතර කැප වූ බවද ප්‍රකාශ කළේය.
හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (31 වැනිදා) පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. කරු ජයසූරිය මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටුවේය.
එහිදී තමන් එජාප නායකත්වය භාර ගැනීමට සූදානම් බවත් එය බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ඒ මහතා කීය.
යළිත් පාර්ලිමේන්තුවට යාමේ කිසිදු වුවමනාවක් මට නැහැ. ඩී.එස්. සේනානායක ගොඩනැගූ මෙරට ප්රබලතම පක්ෂය අද වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීම තමයි මූලික අරමුණ.
