දිවයිනේ සියලු මාර්ග කාපට් කෙරේ
රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසර තුළ ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකත්වය ලබාදීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය බවය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.
අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු සමග එක්ව රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙනයාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත්කරනු ලැබුවේ ඔවුන්ගේ මුළු කාලයම එම කාර්යන් සඳහා වැය කිරිමට බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල තත්ත්වය සමාලෝචනයටත්, පවතින ගැටළුවලට ක්ෂණිකව විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස්කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
A,B,C,D ලෙස වර්ගකර ඇති දිවයිනේ සියලු මාර්ග ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට පෙර කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද මෙම සාකච්ඡාවට එක්වු ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා අපේක්ෂා කරන සහය ලබාදෙමින් රට සංවර්ධනයට උපරිමයෙන් කැපවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් එහිදි සහතික වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
