News

පොලිස් නිලධාරීන් ගම් වලින් පිට කරයි

පොලිස් නිලධාරීන් තමන් පදිංචි බල ප්‍රදේශයේම රාජකාරි කිරීම මත්ද්‍රව්‍ය හා පාතාල මර්දනය අඩාළ වීමට හේතුවක් වී ඇතැයි හෙළිවී තිබේ.

එබැවින් තමා පදිංචි ප්‍රදේශයේම රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුවී ඇත.

තමන් පදිංචි ගම පිහිටි බල ප්‍රදේශවල රාජකාරි කරන සියලුම නිලධාරීන් ගැන තරාතිරම නොබලා වාර්තාවක් ලබා දෙන්නැයි ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට දැනුම් දී තිබේ.

පසුගිය කාලසීමාවේ සිදුකළ මත්ද්‍රව්‍ය හා පාතාල මර්දන මෙහෙයුම්වලදී අදාළ ප්‍රදේශවල සිටි නිලධාරීන් සක්‍රීය දායකත්වයක් ලබාදී නොමැත්තේ ඔවුන් ගම්බිම්වල පදිංචිකරුවන් වීම නිසා ඇති වූ හිතවත්කම් මත බව හෙළිවී තිබේ.

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය හා පාතාල මෙහෙයුම් කිරීමේදීත් මෙම තත්ත්වය බලපා ඇතැයි සඳහන් වේ.

මේ අනුව අදාළ නිලධාරීන්ගේ වාර්තා කැඳවා ඔවුන් කොපමණ කාලයක් රාජකාරි කළාද යන්න හා ඉටුකළ සේවාව ගැනද සොයා බැලීමට නියමිතය.

වාර්තාව කැඳවීමේදී ඉහළ නිලධාරීන්ගේ සිට පහළටම තොරතුරු ලබා ගැනීමට තීරණය කර ඇත.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා