දොස්තර වෙස් ගෙන වාහන උස්සන හොරාව අල්ලන්න බැහැ
ඔහු විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. හදිසි මුදල් අවශ්‍යතාවයක් මතු වුවත් ඉතිරි කළ මුදලක් අතේ නොවූ තැන අවශ්‍ය මුදල සොයා ගන්නේ කෙසේදැයි ඔහු දස අතේ කල්පනා කරන්නට විය. අවසානයේ ඔහු තීරණයකට ආවේය. ඒ තමා සතු මෝටර් රථය විකුණා දැමීමටයි.
ඒ අනුව ඔහු අන්තර්ජාලයෙහි දැන්වීමක් පළ කළේය. එම දැන්වීමට ගැනුම්කරුවන් දුසිම් ගණනක් දුරකථනයෙන් කතා කළත් රථයේ විටිනාකමට ඉල්ලුමක් ආවේ නැත. අවසානයේ ඔහුට තමා බලාපොරොත්තු වූ ඇමතුම ලැබිණි. එම දුරකථන ඇමතුමට පිළිතුරු දුන් විධායක නිලධාරියා තම වාහනය ගැන විස්තර කියා එය අලෙවි කරන්නේ ලක්ෂ පනස් හතරකට බවද කියා සිටියේය. ගැනුම්කරුවා කිසිදු හෙට්ටු කිරීමකින් තොරව එම මුදලට වාහනය ගැනීමට එකඟ වූයේ විධායක නිලධාරියාගේ හිතට සැනසුමක් ගෙන දෙමිනි.
අනතුරුව වාහනය පරීක්ෂා කිරීමට අවශ්‍ය තැන වෙලාව ආදියද දුරකථනයෙන්ම තීරණය කර ගැනුණි. රථය ගැනීමට සූදානම් පුද්ගලයා තමා රජයේ වෛද්‍යවරයකු බව කීම රථය හිමිකරුගේ හිතට තවත් සැහැල්ලුවක් විය.
වාහනය පරීක්ෂා කර බැලිය හැකි තැන බවට දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණියේ විධායක නිලධාරියා සේවය කරන කොළඹ පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයයි.
ඒ අනුව එකඟ වූ දින එකඟ වූ තැනට වාහනය ගැනීමට සූදානම් බව කී වෛද්‍යවරයා පැමිණියේය. වාහනය පරීක්ෂා කර බැලූ ඔහු වාහනය ගැනීමට එකඟව ගනුදෙනුව සිදු කිරීමට හැකි වේලාවද කියා විධායක නිලධාරියාගෙන් සමුගන්නේ ඔහුගේ හිතට සැහැල්ලුවක් එක් කරමිනි.
තම ප්‍රශ්නය කරදරයකින් තොරව විසඳීමේ ප්‍රීතියෙන් යුතු විධායක නිලධාරියා පසුදින සේවයට පැමිණ ආයතන රථගාලේ රථය නවත්වා කාර්යාලයට ගියේය. ඔහු ආපසු රථගාලට පැමිණියේ සවස ගෙදර යෑමට බලාගෙනය. ඒත් උදේ රථය නැවතූ තැන දැන් එය නැත. එතැන නොව රථගාලේ කොතැනකවත් රථය නැත. වාහනය අතුරුදන්ය. ඊට කුමක් වූයේද යන්න දන්නා කෙනෙක්ද නොවීය. ආයතනයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ඔහුට පිහිටට ආවේ මේ අවස්ථාවේදීය.
සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේ දී විධායක නිලධාරියාට දැකගත හැකි වූයේ පෙරදා සිය වාහනය මිලදී ගැනීමට කැමැත්ත පළ කළ වෛද්‍යවරයා සිය මෝටර් රථය රථ ගාලෙන් එළියට රැගෙන යන ආකාරයයි.
වහාම අසල පොලිසියට ගිය ඔහු සිය මෝටර් රථය අතුරුදන්වීම පිළිබඳ පොලිස්පොතේ පැමිණිල්ලක් සටහන් කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සී.සී.ටී.වී. දර්ශනද නැරැඹීමෙන් අනතුරුව සිය පරීක්ෂණ කඩිනම් කළේය. එහි දී හෙළිවූයේ එම වාහනය කාර්යාලයීය වාහන අංගණයෙන් ගෙන ගොස් පැය දෙකක් ගෙවීමට මත්තෙන් තවත් අයෙකුට අලෙවි කර ඇති බවයි.
තවදුරටත් තොරතුරු හාරාඅවුස්සා බැලීමේ දී පොලිසිය අනාවරණය කරගත්තේ වාහන හිමිකරුවා වාහනයේ යතුරු දෙකම එකට අමුනා තිබූ අතර කලින් දින වාහනය පරීක්ෂා කරන මොහොතේ ඔහු එක් යතුරක් හොරාගෙන ඇති බවයි. පසු දින වාහනය සොරාගෙන ගොස් ඇත්තේ එම යතුරේ ආධාරයෙනි.
වහානය විකිණීමට සූදානමින් තිබුණ නිසා වාහනයේ සියලු ලියැකියැවිලි ද වාහනය තුළම තිබීම හොරාගේ වාසනාවක් වී තිබේ. එසේම රථය හිමි විධායක නිලධාරියා මෙම රථය කලින් ගත් කාන්තාවගෙන් තමාගේ නමට ලියාපදිංචි කර නොගෙන කලින් රථය හිමි පුද්ගලයා වාහනය පැවරීමට අත්සන් කර දුන් ලියැකියැවිලිද එහි තිබී ඇත්තේය.
එයද හොරාගේ වාසනාවටම සිදු වූ දෙයකි.
මේ තත්ත්වය යටතේ විධායක නිලධාරියාට රථයේ හිමිකම් කියා පෑමට ක්‍රමයක් නැත්තේය. රථය අලුතින් ගත් අය සතුව සියලු ලියැකියැවිලි ඇති නිසා ඔවුහු කියන්නේ රථය තමන් නීත්‍යනුකූලව ගත් එකක් බවයි.
දැන් වැලිවේරිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් සිටී.
එම පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු එසේ මෙසේ හොරකු නොව කම්බ හොරෙකු බවයි.
මොහු මීට පෙර සොරාගත් කෝටි එකහමාරක් පමණ වටිනා ජීප් රථයක් කොළඹ ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයකුට විකුණා මුදල්ද රැගෙන පැය දෙකක් ගතවෙන්නට මත්තෙන් තමන් සතුව තිබූ යතුරක ආධාරයෙන් එම රථයද පැහැරගෙන ගොස් ඇති බවයි.
මෙම පුද්ගලයා විවිධ නම්වලින් පෙනී සිටින පුද්ගලයෙකි. මොහුගේ මෙම වාහන ජාවාරමට දිවයිනේ විවිධ පොලිස් ස්ථානවල පැමිණිලි ලියැවී තිබේ. දෙවරක්ම පොලිසිය විසින් මෙම තැනැත්තා අත්අඩංගුවට ගත්තද පොලිස් කූඩුවෙන් පැනයෑමට දක්ෂ වී තිබේ. ඒ මරදාන සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයෙනි.
මෙම සැකකරු සතුව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් අයථා ලෙස ලබා ගත් බව කියන වාහනවල පොත් 147ක් පමණ ඇති බවද පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවල දී හෙළි වී තිබේ. එසේම මොහු හැඳුනුම්පත් දහයකට වැඩි ප්‍රමාණයක් භාවිත කරන්නෙකි.
මෙතරම් චෝදනා එල්ලවන මෙම සැකකරු නිදැල්ලේ හැසිරෙමින් තවමත් සුපුරුදු ජාවාරමේ නිරත වෙයි. දැන්වීම් හරහා වාහන මිලදී ගැනීමට ගොස් එම වාහන හිමිකරුවන් සමග හිතවත් වී මෙම ජාවාරම කිරීමට මෙම සැකකරු උපන් හපනෙකි.
කෙසේ වෙතත් මොහු නිසා අමාරුවේ වැටුණු බොහෝ දෙනා දැන් බලාසිටින්නේ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරුය.
හේමන්ත ලියනපතිරණ
