මාස 3න් ඉඩම් ඔප්පු දෙන්න ඉඩම් සංවර්ධන ආඥා පනත හරස් වෙයි
මාස තුනක් ඇතුළත ඔප්පු නොමැති අයට ඉඩම් ඔප්පු ලබා දීම සඳහා ඉඩම් සංවර්ධන ආඥාපනත හරස් වී ඇති බව එහි නිලධාරීහු පවසති.
වසර හැත්තෑවකට වඩා පැරණි ආඥාපනතේ ඇති වගන්ති නිසා ඔප්පු නිකුත් කිරීමේ දී ප්‍රායෝගික ගැටලු මතුව තිබේ.
එහි 3 වැනි උපලේඛනයේ සඳහන් ඉඩමේ අයිතිය ස්වාමියාට ඇති අවස්ථාවේ දී ඔහු මිය ගිය පසු උරුමය බිරියට ලැබුණ ද එය වෙනත් අයෙකුට පැවැරීමට හෝ ලබා දීමට නොහැකිය. දරුවන් සිටින පවුලක මවගෙන් පසුව එහි උරුමය වැඩිමහල් පිරිමි දරුවාට හිමිවීමත් නිසා සැබෑ භුක්තිකරුට එහි අයිතිය නොලැබීමේ ගැටලු මතුව ඇත.
ඊට අමතරව අක්කර එකහමාරට අඩු වගා බිම් සඳහා ඔප්පු නිකුත් කිරීමට නොහැකි නිසාද ගැටලු මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපොළ සංවර්ධන රාජ්‍ය ඇමැති රෝෂාන් රණසිංහගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කර එහි ඇති තුන්වන උපලේඛනය ඉවත් කර ඒ වෙනුවට භුක්ති විඳින අයට හෝ පවුලේ එකඟත්වය මත ඉඩමේ අයිතිය ලබා දීමට කටයුතු කරන බවයි. කුඹුරු ඉඩම් බෙදීමේ දී අක්කරයක් දක්වා ඔප්පු ලබාදීමේ සංශෝධනයද ඊට ඇතුළත් කිරීමට යෝජනා කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
චමින්ද සේනාරත්න
