ගිනි ගත් නැවේ නවතම තත්වය
නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ප්‍රධාන ගින්න නිවා දැමුවද ඊයේ (07 වැනිදා) දිනයේත් යළි සුළු ගිනි ගැනීම් ඇති වූ නිසා ගුවනින් රසායන ද්‍රව්‍ය හෙළීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පෙරේදා (6 වැනිදා) දිනයේදී රසායනික මලු (Dry Chemical Powder) කිලෝ දහසක් යොදා ගිනිදැල් නිකුත් වීම නැවැත්වූ බවත් ඊයේ (7 වැනිදා) දිනයේදී නැවත තවත් කිලෝ තුන්දහසක් ගුවනින් යෙදීමට පියවර ගත් බවත් ගුවන් හමුදා මාධ්‍ය ගිනි ගත් නැවේ නවතම තත්වයප්රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ‘අරුණ’ට පැවැසීය. පෙරේදා (06 වැනිදා) රාත්‍රියේ ඇති වූ දැඩි සුළඟ නිසා යළි ගිනි ගැනීම් හටගෙන ඇත.
මේ අනුව නිව් ඩයමන්ඩ් නැව ගිනි ගැනීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව රසායනික පවුඩර් කිලෝ හාරදහසක් ඊයේ (07 වැනිදා) රාත්‍රී වන විට හෙළා ඇත. හෙළිකොප්ටර් දෙකකින් බ්රැම්පි බකට් ආධාරයෙන් වතුර ලීටර් හාරලක්ෂ හතළිස් දහසක් නැව මතට මුදාහැර තිබිණි.
නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් කාමරයේ ඩීසල් ගිනි ගැනීමට පටන් ගැනීම නිසා ඊයේ (07 වැනිදා) වන විටත් සුළු දුමාරයක් හටගෙන ඇත. රසායනික පවුඩර් නිසි තැනටම යෙදවීමට හැකි වූයේ නම් ගින්න සම්පූර්ණයෙන්ම මැඬපැවැත්විය හැකිව තිබුණ ද හෙළිකොප්ටර්වලට ඒ අසලටම පතිත කිරීම අසීරු බව ගුවන් හුදාව පෙන්වා දෙයි.
ගුවන් මෙහෙයුම අතරේ නාවික හමුදාව ඉදිරි වෙරළාරක්ෂක යාත්‍රා ජල ප්‍රහාර මගින් නැවේ එන්ජින් කාමර සිසිලනය කරමින් ගින්න යළි පැතිරීම මැඬ පැවැත්වීමට ඊයේ (07 වැනිදා) දිනයේත් පියවර ගත්හ. මෙම මෙහෙයුමට නෞකා නවයක් හා ටග් යාත්‍රා පහක් එක්කරගෙන තිබිණි.
නාවික හමුදා තාක්ෂණික කණ්ඩායම් එන්ජින් කාමරය පිහිටි ප්‍රදේශයට ඊයේ (7 වැනිදාත්) ඇතුළුවීමට උත්සාහ ගත්තද සුළු ගිනි ගැනීම් වාර්තා වූ නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ‘අරුණ’ට පැවසීය.
සුළු ගිනි ගැනීම් වර්ධනය නොවීමට වග බලාගන්නා බවත් දිගටම ජල ප්‍රහාර එල්ල කරන බවත් කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේය.
‘‘එන්ජිමේ ඩීසල් පිච්චිලා ඉවරවන්න ඕනා. සම්පූර්ණයෙන්ම ගින්න නිවිලත් දවස් තුනක්වත් යන්න වෙනවා එන්ජින් කාමරයට යන්න. යකඩ මෙල්ට් වන (දියවන) උෂ්ණත්වය තියෙන්නේ සෙන්ට්‍රිග්‍රේඩ් 1500 වගේ. ඒ ටෙම්පරේට් එකට රත්වෙච්චි එකක් ආපසු කොච්චර වතුර දැම්මත් නැවත මතුවෙනවා. නැවේ බඳේ හීට් එක නගින නිසා ඒක පාලනයට දිගටම වතුර ගහනවා. මේ මෙහෙයුම සම්පූර්ණයෙන් ඉවර වීමට සතියක්වත් ගතවෙනවා.’’ යැයි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.
නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූවත් එහි ඇතුළත උෂ්ණත්වය හා සුළඟේ බලපෑම මත ගින්න නැවත පැතිරීමේ සම්භාවිතාවක් ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරන්නේය. මේ නිසා ඊයේ (7 වැනිදා) රාත්‍රී වන විටත් මෙහෙයුම් අඛණ්ඩව සිදුවිය. ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් නිරීක්ෂණ යාත්‍රාව හා වයි 12 යානාවක් මාරුවෙන් මාරුවට ගුවනින් නිරීක්ෂණ මෙහෙයුම් කරගෙන ගියේය.
නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති බොරතෙල් ආරක්ෂිතව පිටතට ගැනීම තීරණය කිරීම සඳහා සිංගප්පූරු නියෝජිතයන් පිරිසක් නාවික හමුදාවේ සහාය මැද ඩයමන්ඩ් නෞකාව ආසන්නයට ගොස් තිබිණි. නිව් ඩයමන් නෞකාව අයත් ග්‍රීක සමාගම මෙම නියෝජිතයන් එවා තිබූ අතර ඔවුන් නෞකාවේ ඩ්‍රෝරා යාත්‍රාවකින් නැව ආසන්නයට ගොස් තිබිණි.
නීතිපති නියෝග මත නෞකාව ගිනිගත් ප්‍රදේශයේ ජල සාම්පල රැගෙන ඒම සඳහා නාරා ආයතනය ඇතුළු විශේෂඥ කණ්ඩායම් තුනක්ද එම ප්‍රදේශය වෙත පිටත් කර යවා තිබිණි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා

