News

මිලියන32ක් වටිනා ඇඟිලි සලකුණු යන්ත්‍ර අපතේ

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වසර දෙකකට පෙර මිලදී ගෙන තිබූ පැමිණීමේදී හා පිටවීමේදී භාවිත කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර දෙසිය විසි හතර (224ක්) 2019 මැයි අවසන් වන විටත් භාවිතයට ගෙන නොමැත.

2017 අප්‍රේල් 19 දින නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයට අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත නොකරන සේවකයන්ට අතිකාල දීමනා නොගෙවිය යුතු බවට දැනුම් දීමත් සමග රුපියල් මිලියන 32ක් වැය කර මෙම යන්ත්‍ර මිලට ගෙන ඇත.

කාර්යාලය තුළ සේවය කරන ඉහළ කළමනාකරණයේ වෛද්‍යවරුන් විසින් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත නොකිරීම හේතුවෙන් සෙසු සේවකයන්ද ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තත්ත්වය නිසා අංක 09/2006 රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයට පටහැනිව වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාල වේලාවන් නියම කරමින් අමාත්‍යාංශය ලේකම්වරයා විසින් 2014 නිකුත් කළ චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

එම තත්ත්වය මත අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලයේ විවිධ අංශවල සේවය කරනු ලබන 2018 මුල් මාස හයක් (06) තුළ පමණක් රුපියල් මිලියන හයක අතිකාල ලබා ගෙන ඇති බව විගණනයේදී හෙළි කර ගෙන තිබේ.

චමින්ද සේනාරත්න