News

ඔළුවිල් සරසවියේ නවක වධය නිරුවත් වෙයි

අම්පාර ඔළුවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ නවක සිසුන් නිරුවත් කර නවක වධයට ලක් කරන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තොරතුරු ලැබී තිබේ.

එමෙන්ම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නවක වධ විරෝධී සිසුන්ට තවත් සිසුන් පිරිසක් පහර දීමේ සිද්ධීන් පිළිබඳවද එම කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇත. මෙම තත්ත්වය මත නවක වධ විරෝධී සිසුන්ට දේශනවලට පවා සහභාගිවීමට නොහැකිව නේවාසිකාගාරවලට වී සිටීමට සිදුව තිබේ.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවැසීය. විශ්වවිද්‍යාලවල සිසුන් අතළොස්සකගේ නවක වධ ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවට පත්වන බවත් එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන්නන් හඳුනාගැනීම සඳහා බුද්ධි අංශවල සහයෝගය ලබා ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

නවක වධ ක්‍රියාකාරකම් මෙහෙයවන සිසුන් හඳුනාගැනීම සඳහා බුද්ධි අංශවල සහාය ලබා දෙන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමට එකඟතාව ලැබුණු බවත් එම සහයෝගය මත නවක වධයට සම්බන්ධ නියම සිසුන් හඳුනාගැනීමට හැකි වන බවත් සභාපතිවරයා කීවේය.

නිලන්ත මදුරාවල