News

නැවෙන් තෙල් බෑමේ ප්‍රමාදයට කෝටි 48ක් පාඩු

 

තෙල් නැව්වලින් මෙරටට තෙල් ගොඩබෑමේ දී සිදු වන ප්‍රමාදයන් වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉකුත් පස් වසරේදී නැවි සමාගම්වලට ගෙවා ඇති ප්‍රමාද ගාස්තුව රුපියල් හතළිස් අටකෝටි අසූ ලක්ෂයක් බව විගණකාධිපතිවරයා අනාවරණය කරයි.

මෙට්‍රික් ටොන් හතළිස් දහසක ධාරිතාවකින් යුත් ඛනිජ තෙල් නැවකින් තෙල් ගොඩබෑම සඳහා එම නැව් සමාගම එකඟවන කාලය පැය 96ක් වුවත් පවතින දුර්වලතා මත එම කාල සීමාව පැය 120ත් 168ත් අතර වන බවත් අනාවරණය කරන විගණකාධිපතිවරයා නළ පද්ධතියේ පවත්නා අවහිරතා මෙන් ම ගබඩා පද්ධතියේ පවත්නා දුර්වලතා ද මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් හෙළි කර ඇත.

ඉකුත් මස 28 වැනිදා  නිකුත් කර ඇති වාර්තාවෙන් මේ බව හෙළි කරන විගණකාධිපතිවරයා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම යටතේ පාලනය වන ඉන්ධන නළ මාර්ග පද්ධතියට අයත් නළ මාර්ග පහෙන් දෙකක් අක්‍රීය තත්ත්වයේ පැවතීම නිසා අත්හැර දමා ඇති බවත් දැනට භාවිතයේ පවතින නළ ද නිතර කාන්දුවීම්වලට ලක්වන බවත් නිරීක්ෂණය වී ඇති බව පෙන්වා දෙයි.

කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත පිරිපහදු ඉන්ධන ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන්නේ එක් නළ මාර්ගයක් යැයි ද එම නළ මාර්ගයේ බිඳ වැටීමක් සිදු වුවහොත් බරපතළ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

තෙල් ගොඩබෑම ඉතාම අකාර්යක්ෂම තත්ත්වයක පවතින බවත් ඒ අනුව රටේ තෙල් සඳහා වන ඉල්ලුම කොපමණ වුව ද මාසයක් ඇතුළත ගොඩ බෑ හැක්කේ මෙට්‍රික් ටොන් හතළිස් දහසක ධාරිතාවකින් යුත් නැව් හතරකටත් අඩු සංඛ්‍යාවක ඉන්ධන යැයි ද සඳහන් කරයි.

නිලන්ත මදුරවල